Saturday, October 27, 2012

"අලි ගැණීම" කර්තෘ අලි ගැණ්න හැටි..


අද කතාවත් බෝඩිමේ ලඟම හිතවතෙක් ගැන තමයි. ඒ තමයි අලියෙක් තරම් ලොකු නැතත් අපි අතරේ අලියෙක් වගේ ඉන්න "අලි ගැණීම" ග්‍රන්ථයේ කර්තෘතුමා. මෙන්න මේ කියන කතාව ඔන්න ඔය "අලි ගැණීම" පොත ලියන්න හේතුපාදක වුණු 2011 වන අලි සංගණනය අස්සේ සිද්ධවුණු දේවල් තමයි. හැබැයි තවම නම් "අලි ගැණීම" පොත ලියලා ඉවර නැහැ මම දන්න විදිහට නම්.කොහොම හරි 2011 අවුරුද්දේ අපි පලවෙනි වසර ශිෂ්‍යයෝ කාලේ දෙවැනි විභාගයත් ආවා කියමුකෝ. ඔන්න දැන් විභාගයට සතියයි තියන්නේ.

සිද්ධියේ මුල මේකයි, වන අලි සංගණනයට අයදුම් කලා පලවෙනි වසරේ අපිත්. නමුත් අපිට අවස්ථාව ලැබුනේ නෑ. යන්න හිටියේ අපේ ජ්‍යෂ්ඨ ශිෂ්‍යයෝ තමයි. අන්තිමට, යන්න දවසකට කලින් අපිට පයිංඩයක් ආවා අපිටත් යන්න පුලුවන් කියලා, මොකද ඉල්ලුම්පත් දාලා ගෙදර ගියපු අපේ ජ්‍යෂ්ඨ ශිෂ්‍යයෝ එන්නේ නෑ කියලා. අපේ ගොඩාක් අයත් ගෙවල් වල. කොහොම හරි අන්තිමට ගොඩක් අය යන්න සෙට්වුණා. ඒ අතරේ මමත්, වැලීත්, මුහුදුකොල්ලකාරයාත් යන්න සෙට් වෙලා හිටියේ. රු.2000ක්ම දෙනවා කිවුවා යනවාට. අපි තුන්දෙනා ඉතින්, අලි ගහණ වනාන්තරේ ඉඳලා ආපු "අලි ගැණීම" කර්තෘතුමාටත් යන්න කතා කලා. එතුමා කිසිම බයක් නොපෙන්වා එකපයින්ම වගේ කැමතිවුණා. අපි තුන්දෙනා නම් එක පයින් නෙවෙයි දෙපයින්ම යන්න කැමැත්තෙන් හිටියේ.

ඔන්න පහුවදාටත් එලිවුණා. අපි තුන්දෙනා ( මම, වැලී, මුහුදුකොල්ලකාරයා ) කැන්ටිමට කන්න ගියා බෑග් එහෙමත් අරගෙන යන්න බලාගෙනම. අපේ කර්තෘතුමා තවම නෑ. අපි කෝල් එකක් දීලා ගෙන්න ගත්තා එතුමාව. මෙන්න අත් දෙක වනවනා එනවා, බෑග් එකක්වත් නැතුව කොහොමද දවස් දෙකක් කැලේ නවතින්න යන්නේ? ආපු ගමන් මෙයා කියනවා, එයාගේ 'කෙනා' යනවාට කැමති නෑ, එහෙම නොවුණා නම් එනවා... වැලී ඇහුවා බයට නේද නොයෙන්නේ කියලා, මෙන්න පොර කියනවා එයා ආවේ බෑග් ලෑස්ති කරලාය, ඒක අරන් එන්නම් කියලා එතුමා හොස්ටල් එකට ගියා. එතුමා ලෑස්ති කරපු බෑග් එකක් නෑ. මොකද එතුමාට ආපහු එන්න ගිය වෙලාව බලපු ඕනෙම කෙනෙකුට තේරෙනවා මොකදවුණේ කියලා.

කොහොම හරි සෙට් එකම අලි ගණින්න ගියා කියමුකෝ. අලින්ට බයේ ගිය අය අලි ඉන්න තැන් වලටම සෙට්වුණා. ඇලි බලන්නම ගිය වැලීටත් මටත් අලියෙක් තියා අවුරුදු විස්සකට මෙහා අලියෙක් ආපු නැති තැනක් සෙට්වුණා ( ලොග්ගල් ඔය කියලයි කියන්නේ). අපේ කර්තෘ තුමා අපි හිටපු කිට්ටුවක නෙවෙයි හිටියේ, එතුමාට ගම් බට්ටා අයියා කෙනෙක් සෙට් වෙලා තිබුණා. එතුමා සතුටින් කාලා බීලා හිටියාලු කැලේ මැදට වෙලා. කාලා වැඩිවෙලාද මන්දා, අට්ටික්කා ගහක් යටට වෙලා ඉන්නකොට එතුමාට නිකමට වගේ නින්ද ගිහින්. වැඩකුත් නෑනේ ඉතින්.

එකපාරටම මෙතුමාට ඇහැරුනාලු කැලේ පෙරලගෙන එතුමා දිහාට එන අලි රැලකගේ සද්දේ.. අපොයි අපේ අහිංසක කර්තෘතුමා. පණ එපා කියලා දිවුවේ නෑ එතුමා, හරිම නිර්භීතයි, අපි වගේ නෙවෙයි. ලඟම තිබුන අට්ටික්කා ගහට නැග්ගා පුලුවන් ඉක්මනට. හත් දෙයියනේ කලුවරත් වැටිලා, එතුමාට එච්චරටම නින්දගිහින්ද? දැන් කරන්න දෙයක් නෑ. එතුමා නිර්භීත කම උපරිමයට අරන් අට්ටික්කා ගහේ මුදුනටම වෙලා ඇස්දෙකත් පියාගෙන ගහ බදාගෙන හිටියා කියලා අපිට අර එතුමාගේ සගයා ( ගම් බට්ටා අයියා ) කිවුවා. ඒ සගයා අපේ කර්තෘ තුමාට ගහ මුල ඉඳන් කතා කරලා මෙන්න මෙහෙම කිවුවලු. " මල්ලී, බහින්න බිමට. බයවෙන්න දෙයක් නෑ, ඒ ආවේ ඌරෝ රංචුවක්. අපිට කරදරයක් නෑ උන්ගෙන්." අදට ඇති නේද?