Thursday, July 9, 2026

අවුරුදු එකොළහකින් පස්සේ

අද වෙද්දි අපි කලු අක්කගේ බෝඩිමෙං ඇවිත් අවුරුදු 12කට වඩා වැඩියි. අපි සෙට් එකම අන්තිමට හමුබුනේ කවදද, කොහෙදිද කියලා මතකත් නෑ දැං. වැලියට කතා කරපු කාලයක් නෑ, මොනාට නං කතා කලා මතකයි. ටීනා කුමාරියි නයන්නයයි නං නිතර සැට් වෙනවා.

දැං වෙලා තියන දේවල් වල හැටියට පරණ කතා කියලා පවුල් කැඩෙන්නත් බැරි නෑ. තාම තනිකඩ එකම එකා නයන්නයා විතරයි. අන්තිමට බැලුවම ඌ තමා නිදහස්ම එකා.. 

ජය

Monday, November 30, 2015

මහජන චීන සමූහාණ්ඩුව (I)


කාලෙකට පස්සේ පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මහජන චීන සමූහාණ්ඩුව කියලා කිව්වාම බෝඩිමේ නෑ හිතවතුන් දන්නවානේ මොකක්ද කියලා. නයන්නයත් මමත් දුක්පත් අහින්සක කොල්ලෝ දෙන්නෙක් විදිහට ජීවත් වන කල්හී (වෙන වෙනම,නයන්නයයි මොනායි තමයි එකට හිටියේ) බෝඩිමේ වයසකම උන්දෑලා දෙන්නා (වැලී සහ මොනොකියුලර්) තම තමන්ගේ මතවාද කාවැද්දවීමට ගත් උත්සාහය පරාජය කරනුවස් නයන්නයාත් මමත් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීය. අවබෝධතා ගිවිසුම නම් කිරීමට හේතුව දුක්පත් අප විසින් බාවිතා කරන ලද්දේ චීනයෙ නිෂ්පාදිත භාණ්ඩ වීමයි. 

චීන සමූහාණ්ඩුවේ එකඟතාවයන් වල ප්‍රභලතාවය කොතරම්ද යත්, එකෙක් පොල් ගසක් පෙන්වා "අර කොස් ගසක් නොවේදැ"යි ඇසූ විට අනෙකාගේ පිළිතුර වනාහි "ආ.. ඒකට කියන්නේ කොස් ගස නොවේදැ"යි අසති. පහසුවෙන් එකඟතාවයකට නොපැමිණෙන මොනා සහ වැලී යන දෙදෙනාට විරුද්ධව චීන සමූහාණ්ඩුව තුනෙන් දෙකක බලතල සහිතව යෝජනා සම්මත කර ගැනීමට හැකි විය. බොහෝවිට කුලී හේවායෙක් ලෙසින් මොනොකියුලර්ද චීන සමූහාණ්ඩුවට සහාය දැක්වූයේ කිසිඳු ලාභ ප්‍රයොජනයක් නැතිව පිනටම වාගේය. බෝඩිමේ වයෝවෘද්ධම සගයාගේ (වැලී) හණමිටි යෝජනා බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට චීන සමූහාණ්ඩුවට උවමනාවක් නැති වුවත් මොනාගේ සහ වැලීගේ අනවශ්‍ය පිබිදීම් වැලැක්වීමට එම යෝජනා පරාජය කරවීය. විරුද්ධ පාර්ශවයන්ට බලවත් වීමට මහජන චීන සමූහාණ්ඩුව කිසි විටෙක ඉඩ නොතැබීය. 

ලන්ඩන් වල ඇල්බට් අංකල්ගේ දුව ටීනා කුමාරි කවදත් මහජන චීන සමූහාණ්ඩුවේ සැතිරියක්ම විය. සාම සාධක පහසුකම් සපයන්නිය ලෙස පෙනී සිටිමින් වැලීට කඩේ යාම ජයටම කලාය. මොනොකියුලර්ද උල්පන්දම් කරුගේ චරිතය ලෙසටම ඉටු කලේය. උගේ පන්දමෙන් කලු ආලෝකයක් නික්මුන බව ටීනා කුමාරිය විසින් මාධ්‍ය හමුවකදීත් කියා සිටියාය. ලන්ඩන් උන්ගේ මනස්ගාත ජීවිතය කරගත් අලයාද (අලයා යනු ටීනා කුමාරිගේ බැලයාය ) මේ දිනවල ජීවිතය ගැන කලකිරීමෙන් ජීවත් වෙන බව මහජන චීන සමූහාණ්ඩුවට ආරංචි විය. 


මහජන චීන සමූහාණ්ඩුව (II) >> ළඟදීම

Friday, April 4, 2014

සමුගැනීම ""බෝඩිමෙන් ඇසෙන කතා""

අද ඉඳන් අපේ '''බෝඩිමෙන් ඇසෙන කතා''' ආයේ අලුතින් ඇසෙන්නේ නැති නිසා අපි අද ඒක '''බෝඩිමෙන් ඇසුණු කතා''' නමින් වෙනස් කරනවා. මෙච්චර කාලෙකට රහස් වෙලා තිබුණු දේවල් මේ එක්කම එලියට ඇදිලා ඒවි. බලාපොරොත්තුවෙන් ඉන්න. ඒත් අපි ආයේ ඒ විදිහට බෝඩිමක එකට ඉන්න එකක් නැහැ, සමහර විට ජීවිත කාලෙටම. ඉතින් ඊයේ නයන්නයාත් මමත් වෙන වෙනම කලු අක්කාගේ බෝඩිමෙන් සමුගත්තා.. හෙට අනිද්දා වෙනකොට අපේ වැලී සහ මොනොකියුලර් එහෙමත් යන්නම යාවි. ආයෙත් දවසක අපි හමු වේවි. ඒත්...

Saturday, November 9, 2013

මොකෑ මේ ආදරේ ...

කාලෙකින් මොනවත් ලියන්නත් බැරි වුණ එකේ අදවත් මොනවා හරි ලියන්න කියලයි බැලුවේ.  තිබුනා වගේ  කියන්න යන්නේ ආදරයක් ගැන තමයි ඉතිං. අදත් ඉතින්  අපේ මොනොකියුලරයා තමයි මාතෘකාව. මේක මොනාගේ ආදරේ ගැන. පුදුමයි නේද කියනකොටත්. මොනාට මොන loveද?

එකතරා දවසක හවසක අපි හතරදෙනා තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක වෙල් එලිය පැත්තේ ගියා ඉතින්. ගියේ මොක්ස් සහ ටිකක් පුරසිද්ද එක්කෙනෙක්. එන ගමනේදී මොක්ස් අපේ අහිංසක මොනාට තමන්ගේ අවංක පිවිතුරු අචින්ත්‍ය, තිස් නව වන කුළුඳුල් (යයි කියාගන්නා) ප්‍රේමය පුජා කළා. ඒ වෙලාවේ "ප්‍රේමය පුදදී අවසානයි" කියන්න අපේ මොනාට ඕන වුනත් ඒක එහෙම නොවුන හින්දා දෙන්නම හදවත්  දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන ගමන අවසන් කළා.

වැළිත් මමත් නයන්නයත් හිතුවා මේක මෙතනින් ඉවරයි කියලා. අපිටයි වැරදුනේ.. ඉවරයි කිව්වට ඉවර නෑ. තව තිබිලා... ආයේ ආයෙත් මොක්ස් අපේ මොනාට  පටන් අරන් තිබුනා. අකමැත්තක් පෙන්නුවත් මොනා ඒ කරදර "පැණි රැසක් ලෙස" ඉවසන්න ඕන කියලා නයන්නයට දවසක්දා කියනවා මම අහගෙන. අනුන්ගේ කාර් අනුන්ගේ පැට්‍රෝල් කියලා අපිත් පැට්‍රෝල් තියෙන කාර් එකක්ම හොයන්න පටන් ගත්තා. මේ උලව් ඔක්කොම අස්සේ අපි කාටත් හොරෙන් වැලියා අර පුරසිද්ද යයි  කියූ එකී එක්ක chat කොරන්ඩ පටන් අරගෙන ඔං. මොනාගේත් තියෙන පෙරේත කමට වෙන එකෙක්ට හෙණ ගහන්ට ඕන, මොනාත් ඒ පුරසිද්ද යයි කියූ ඒකිට හොරෙන් හොරෙන් chat කොරනවලු නංගි ගන්ට. ඌ නම් හිච්චි එකා. එත් අපේ නාකි මනුස්සයානේ බොලව් වැඩේ. මේ නහින දෙහින කාලේ කොරන වැඩ. 

මටනම් උන්නත් දාහයි හිටියත් දාහයි. ඔක්කොම දෙදාහයි. නයන්නයගේ පළහිලව්ව ගැන නම් කියන්න විදිහක් නෑ. මොකද ඒක මහජන චීන සමුහාණ්ඩුවට හොඳ නෑ. පැට්‍රෝල් නැතත් කාර් එකක්වත් මේක කියවපු තොපිට ලැබේවා.

Sunday, September 8, 2013

Facebook Account එකක් සදහටම DELETE කරන හැටි... .

මුලින්ම දැනට use කරන email address එක primary email address එකෙන් ඉවත් කරන්න. ඒ වෙනුවට වෙනත් email එකක් යොදන්න වේවි. එහෙම කරන්න හේතුව තමයි DELETE action එක ක්‍රියාත්මක වෙන්න සති 2ක් යනවා. සති දෙකක් Facebook නැතුව ඉන්න අමාරු ඇති කියලා හිතලා තමයි එහෙම කිව්වේ. දැන් අර කලින් email address එකටම අලුත් account එකක් හදන්නත්  පුලුවන්නේ.. ආ... DELETE කරන්න කිව්වේ නෑනේ.. ඒක කරන්න www.deletefacebook.com එකට යන්න. ඒකේ link එකක් තියෙනවා DELETE FACEBOOK කියලා. ඒක කලාම ආපහු Facebook එකටම වේවි. අන්න එතන DELETE MY ACCOUNT button එක ඔබන්නයි තියෙන්නෙ.. හැබැයි සති 2ක් යන්න කලින් ආපහු log උනොත් ඔක්කොම ඉවරයි. ඒ හින්දා සති දෙකක් ඉඳලා TRY කරන්න.. මේක කිව්වේ තානිෂ්. එයාට තමයි ස්තූතිය යන්න ඕනේ.. මට නෙවෙයි..හැබැයි ඉතින් මේකෙන් දෙයියනේ කියලා Facebook account එකේ තිබුණු හැමදේම නැතුව යනවා.. ආයේ අහන්න එපා  RECOVER කරන්නේ කොහොමද කියලා.. බෑ කිව්වොත් බෑ... බෑ... බෑ... බෑ... එච්චරයි.. එහෙනම් ආයුබෝවන්..

..දික්පිටියා..

Wednesday, July 10, 2013

විශේෂ ඩිප්ලෝමා පාඨමාලාව..

සේදීම ඔබට අවුලක්ද?

මෙන්න විසඳුම අපෙන්..
සුදු කෙල්ලන් සේදීම පිලිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාව සුවහසක් සහෝදර සිසුන්ගේ ඉල්ලීමෙන් ලඟදීම ඇරඹේ. අයදුම්පත් නැවත නොගෙවනු ලබන රුපියල් 500ක මුදලක් ගෙවා කලු අක්කාගේ බෝඩිම් වාසීන්ගෙන් ලබාගත හැක. සම්පූර්ණ කල අයදුම්පත් බාර දීමේදී මුලු පාඨමාලා ගාස්තුව වන රුපියල් 20,000ක මුදලින් 25%ක මුදලක් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා තැන්පත් කලයුතුය. මෙම ඩිප්ලෝමා පාඨමාලාවට ඇති අධික ඉල්ලුම නිසාත්, සීමිත පහසුකම් නිසාත් මෙම තීරණය ගැනීමට සිදුවූ බව කරුණාවෙන් සලකන්න.

පාඨමාලාව මෙහෙයවීම සුදුකෙල්ලන් සේදීම පිළිබඳ ආචාර්‍ය දික්පිටියා මහතා සිදුකරනු ලබන අතර සියලූම ප්‍රායෝගික පුහුණු කටයුතු ආපනශාලාව තුල සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මනා පුහුණුවත් දිගු කාලීන අත්දැකීම් ඇති ආචාර්‍ය දික්පිටියා මහතා මෙම පාඨමාලාවේ සාර්ථකත්වය සහතික කරනු ලැබේ. නැතහොත් ගෙවූ මුදල මෙන් දෙගුණයක් ආපසු.

පාඨමාලා කළමණාකරු:     ආචාර්‍ය මොනොකියුලර් මහතා
පාඨමාලා සම්බන්ධීකාරක:  මහාචාර්‍ය වැලිමීයා මහතා
මාධ්‍ය සම්බන්ධීකාරක:       ආචාර්‍ය නයන්නයා මහතා

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2013/09/09 බව කරුණාවෙන් සලකන්න.