Sunday, February 3, 2013

අර්ධ වාර්ෂික ස්නානය



( අපි හතර දෙනාගේ නොවන බව කරුණාවෙන් සලකන්න, මොකද අපි නාන්නේ වාර්ෂිකව පමණි )

අපේ බෝඩිමට පහලින් ඇලක් තියනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.. නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැනගන්නත් එක්කයි එහෙම කීවේ.

සාමාන්‍යයෙන් අපි පොඩි ආතල් එකක් ගන්න හිතුනම යන්නේ ඔන්න ඔය ඇලේ නාන්න තමයි. මොකද ෂොට් එකක් දාලා ආතල් ගන්න මෝඩ තාලේ බුවාලා එකෙක් වත් අපේ බෝඩිමේ බෙහෙතකට තියා මරණෙකටවත් හොයාගන්න නෑ. කොහොමින් කොහොම හරි අපි එකතරා දවසක එකතරා හවසක නාන්න යන්න සෙට් වුණා. ආ.. අපේ "මොනා" ඉතින් නාන්නේ ඇලෙන් විතරයිනේ.. නැත්තම් ආයේ නාන්නේ ගෙදරම ගිහින් තමයි. ඒවයින් අපිට වැඩක් නෑ.  ම්ම්.. මෙහෙම කියමු, ඇත්තටම නාන්න ගියේ හවසකමත් නෙවෙයි, උදේ වෙලාවක. අපි හතරදෙනාමත් නෙවෙයි, තව ගැහැණු ළමයි කිහිපදෙනෙක් එක්ක. ඇත්තම කියනවා නම් ඒ කාලේ මෙහාට තද පෑවිල්ල. වතුර හිඟයි. ඒ හින්දා කෙල්ලන්ගේ බෝඩිම් වලට වතුර නෑ. උන්ට නාන්න ඕනේ හින්දා තමයි අපිත් ගියේ. නාන්න පුලුවන් තැන් උන් දන්නේ නෑනේ. ඕවගෙන් මේවගෙන් තමයි අපිත් ඇදගෙන නාන්නේ.. හරි.. අපේ නයන්නයා එදා මොකාක් හරි මගෝඩි වැඩකට ගිහින්, අරුන් ටික නාවන්න අරන් යන්න ඉතුරු වුණේ අපි තුන්දෙනයි. ඉතින් මොනා,මම,වැලී අරුන් එක්ක පල්ලම් බැහැලා වෙල් අස්සෙන් ගිහින් (වෙල්ලස්සේ තමයි මේවා වුණේ ) ඇල පාර දිගේ උඩටම ගියා, අපේ නාන පොට් එක හම්බු වෙනකල්. යාන්තම් එතනට එනකොටම අපි එක්ක ගියපු පුත්තලම් පැත්තේ කෙල්ලෙක් ගලක් උඩට පතබෑවුණා. මොලේ තලාගත්තා වෙන්ටෑ. අනිත් වුන් ටිකක් මෝඩ පහේ වුණත් යන්තම් ජාමේ බේරගෙන මොලේ නොතලා එතෙර වුණා.


සත් මසකින් නොනෑ අපේ හිත මිතුරියන්ට නාන්න ප්ලේස් එක සෙට් කරලා අපි තුන්දෙනා තවත් ටිකදුරක් යන්න පිටත් වුණා. අපි නාන තැන තියන්නේ තව දුර. ඉතින් අපි එහාට ගිහින් නෑවා. නාලා සෙල්ලම් ටිකක් දාලා බලන් හිටියා අපේ අනිත් සෙට් එකෙන් පණිවිඩේ එනකල්, උන් නාලා ඉවරයි කියලා.. බැලුවා බැලුවා.. ආයෙමත් අපි තුන්දෙනා නාන්න ගත්තා, මොකද ඒ වෙද්දි ආයෙ අපි වේලිලා.. හ්ම්ම්.. එපා වෙනකල් නාලා ආයේ බලන් හිටියා... තවත් නෑ.. මුන්ට මොනවා වුණාද අප්පා... දියබරියෙක් වත් කාලද මුන් ටික? ඔන්න එතකොටම අපිට කෝල් එකක් ආවා. අපි හිතුවා කෙල්ලො ටිකෙන් කියලා.. අඩේ නෑ. ඇල පහල ඉන්න දාසින් සීයා. එයා ඔය ඇලේ ඉන්න මාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන, විකුණලා අඩියක් ගහගෙන  ජීවත්වෙන අහිංසක මනුස්සයා. සීයා අහනවා අපෙන් "පුතේ ඇළේ උඩ හරියේ කුඹුරුවලට තෙල් ගහනවා දැක්කද?" කියලා. මේ මනුස්සයට මතක නෑ මේලෝකේ දෙයක්. මේ නියං කාලේ මොන බූරු මහත්තයද කුඹුරු කරන්නේ? අපි ඉතින් සීයට කීවා "නෑ සීයේ.. ඇයි මොකක් හරි අවුලක්ද?" කියලා. මේ මනුස්සයාට වස ටිකක් වත් ඉල්ලගන්නද දන්නේ නෑනේ. බොන්න නෙවෙයි, කාට හරි විකුණලා කීයක් හරි හොයා ගන්න එපැයි. මොකද දැන් අහේතුකව වස විස කඩේකින් ගන්න බෑ කියන්නේ.. ඉතින් අපිට සීයා මෙහෙම උත්තරයක් දුන්නා. " අනේ ඔව් පුතේ, මේ ඇලේ ඉන්න මාලු ඔක්කෝම උඩ පාවෙන්න ගත්තා පුතේ.. බලද්දි උන් ඔක්කෝම මැරිලා.. අනේ මෙහෙමත් අපරාදයක්.." මේක අහපු අපිටත් එලොව පේන්න වගේ වුණා. අපිත් පැය ගාණක් වතුරේ හිටියනේ.. ඇයි අපේ අර ආව කෙල්ලෝ ටික, මෙච්චර වෙලා උන් කතා නොකලේ මොකක් හරි වෙලාවත්ද? අපිට නම් ලේසියකට මොනවත් වෙන්නේ නෑ කෑමෙන් බීමෙන් වත් අඩුම තරමේ. ඌරන්ට මොන සෞඛ්‍යද? අපි අරුන්ට කෝල් එකක් ගත්තා.. ... ...
අපොයි ඇති යාන්තම් එහා පැත්තෙන් එකෙක් කතා කලා. ඒ කියන්නේ අඩුම තරමේ එකෙක් ජීවත් වෙනවා. උන්ට අවුලක් නෑ කියලා අපිට කීවා. මොනවා වුණත් ඉක්මනට ආපහු යන්න අපි තීරණය කරලා, උන්ට දැනුම් දුන්නා අපි එනකොට රෙඩි වෙලා ඉන්න කියලා. ඔන්න අපි දුර කතර ගෙවාගෙන උන් ඉන්න තැනට ආවා. පස්සේ කට්ටියම බෝඩිම පැත්තට එන්න පිටත් වුණා. ඒ එන අතරමග අපිට සෙට් වුණා පාලම ලඟ ( අපි නාපු තැනට ගොඩාක් පහල, මාලු මැරිලා හිටිය හරියේ ) නාපු මල්ලිලා තුන්දෙනෙක්. උන් තුන්දෙනාට කැසිල්ල. නාන්න ඇලට බැහැලා තමයි එහෙම වෙලා තියන්නේ.. පව් අප්පා.. එක තැනක මාලු ඔක්කොම මැරිලා, එතන නාපු අයට කසන්න අල්ලලා.. මොකද මේ? අපිට විතරක් නෑ.. අඩේ.. අපේ කෙල්ලො ටික මාස ගානකින් නේද නෑවේ? ඒක මතක් වෙච්ච මං මොනාගේ මූණ බැලුවා. ඌට තේරුණා. වැලීටත් වැඩේ මාට්ටු. අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා, මොකද පිනක් කරන්න ගිහින් ලොකූ පවක් කලා වගේ හැඟීමක් අපිට ආවේ. අපරාදේ අපේ හිතවත් මාලු ටික. උන් ඔක්කෝටම නිවන් සැප පතලා අපි එන්න ආවා. 

අදට ඇති නේද? ගමනේ අවසන් භාගයේ 'බහිරවයා ගත් මාලය සහ ඉල්ලාගෙන ගිය සෙරෙප්පුව' ඇතුලු තවත් කතා ලඟදීම...
රැඳී සිටින්න, බෝඩිමෙන් ඇසෙන කතා සමගින්...